Tuesday, January 27, 2009

‍‍ලේ දන්දීමේ පිංකම..........

නිහිළුව මහා විද්‍යාලයේ ගරු විදුහල්පති ගාමිණි ශාන්ත කුමාර මහතාගේ මග පෙන්වීම යටතේ විද්‍යාලීය උසස් පෙළ කලා, වාණිජ අංශයේ හා ශිෂ්‍ය නායක සංසදයේ මූලිකත්වයෙන් ලේ දන් දීමේ ව්‍යාපෘතියක් 2009.03.19 වන දින විද්‍යාලීය භූමියේ දී සිදු කිරීමට නියමිත ව ඇත. එදිනට ලේ පරිත්‍යාගශීලීන් අවම වශයෙන් සිය දෙනෙකු සහභාගී කරවා ගැනීමට අදහස් කෙරේ.

මෙම ලේ දන්දීමේ මහා පිංකම පවත්වනු ලබන්නේ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් වදින වීරෝදාර රණ විරුවන් වෙනුවෙනි. මෙම උදාර කටයුත්ත සදහා එදිනට පැමිණ ඔබගේ වටිනා ලේ බිදක් පරිත්‍යාග කර අභීත රණ විරුවන් ගේ ජීවිත බේරා ගැනීමට දායක වන්න.

Monday, January 26, 2009

කලාප තරග සදහා සිසුන් තෝරා ගැනීම සිදු කරනු ලැබේ.






තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය විසින් පවත්වනු ලබන කලාප ක්‍රීඩා උළෙල මෙවරත් 2009 වර්ශය සදහා පැවැත්වීමට නියමිතව ඇත. ඒ සදහා තංගල්ල කලාපයේ සියළු ම පාසල් සහභාගී වන අතර මෙම දින වල අප පාසලේ ද ඒ ඒ තරග ඉසව් සදහා දක්ෂතා ඇති සිසු සිසුවියන් තෝරා ගැනීම සිදු කරනු ලැබේ.

නව පරිගණක ඒකකයක්.....


විද්‍යාලීය පරිගණක ඒකකය ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන ඊ ගම්මාන ව්‍යාපෘතිය වඩාත් කාර්යක්ෂම ව ඉදිරියට කර‍ගෙන යාම සදහා ඊස්ට් වෙස්ට් පරිගණක ආයතනය මගින් අප වෙත අංග සම්පූර්ණ නව පරිගණක ඒකකයක් ලබා දෙන ලදි. එය නිහිළුව ශ්‍රී අස්වත්ථාරාම විහාරස්ථානයේ පිහිටුවා ඇත.
ඒ අනුව නව පරිගණක හයක්, ස්කෑනරයක්, වෙබ් කෑමයක් හා මුද්‍රණ යන්ත්‍රයකින් මෙම පරිගණක ඒකකය සමන්විත වේ. නව පරිගණක ඒකකය මගින් අවට ගම් වාසීන්ට පරිගණක දැනුම හා අන්තර්ජාලය පිළිබද දැනුම ලබා දීමට අප බලාපොරොත්තු වන අතර ඊස්ට් වෙස්ට් පරිගණක ආයතනයට අපගේ හෘදයාංගමය ස්තුතිය පුද කර සිටිමු.

Monday, January 19, 2009

කොළඔ විශ්ව විද්‍යාලීය සිසුන් මෙහෙය වු දින තුනේ වැඩමුලුව

කොළඔ විශ්ව විද්‍යාලීය සිසුන් විසින් මෙහෙය වු දින තුනේ වැඩමුලුවක් අප විද්‍යාලීය පරිගණක අංශයේදි පැවැත් විය.ග්‍රාමීය ප්‍රදේශවල සිසුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරිමේ අරමුණින් කොළඔ විශ්ව විද්‍යාලීය පරිගණක අධ්‍යයන ආයතනය වසර කීපයක සිට මෙම සද්කාර්ය කරනු ලබයි.ඒ අනුව අප විද්‍යාලයේ ක්‍රියාත්මක වන ඊ-ගම්මාන වැඩසටහන සාර්ථක කරගැනීම සදහාද මෙම දින තුනේ වැඩමුලුව ඉමහත් දායකත්වයක් ලබා දුනි.

වැඩමුලුවේ වීඩියෝ දර්ශන

1 2 3




Monday, January 12, 2009

නිහිළුව මහා විද්‍යාලීය පරිගණක ඒකකය විසින් ප්‍රථමස්තානය දිනා ගනී.


2008 වර්ෂයේ පරිගණක ඒකක භාර ගුරුභවතුන් දිරිමත් කිරිමේ අරමුනින් ද්විතීක අධ්‍යාපන නවීකරන ව්‍යාපෘතිය මගින් පැවැත්වු තරගයෙන් දකුනු පලාතේ හොදම ඊ-ගම්මානය සහිත පරිගණක ඒකකයට හිමි සම්මානය නිහිළුව මහා විද්‍යාලීය පරිගණක ඒකකය විසින් දිනා ගනු ලැබූ අතර එමෙන්ම තංගල්ල අධ්‍යාපන කලාපයේ ආදර්ශමත් පාසල් පරිගණක මධ්‍යස්ථාන අතරින් ප්‍රථමස්තානය දිනා ගනු ලැබුවේද අප විද්‍යාලීය පරිගණක ඒකකයයි. මෙම තරගය දකුණු පළාත් අමාත්‍ය ගරු ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

Thursday, January 8, 2009

දුරුතු මස පුර පසළොස්වක පොහොය දිනය නිමිති කරගනිමින් ආගමික වැඩ සටහනක්.


නිහිළුව මහා විද්‍යාලයේ සෑම මසකම පුරපසලොස්වක පොහොය දිනය නිමිති කරගනිමින් පවත්වනු ලබන ආගමික වැඩ සටහන යටතේ, 2009 වසර දුරුතු මස පුර පසළොස්වක පොහොය දිනය නිමිති කොට ලැබුවා වූ අලුත් අවුරුද්දේ විද්‍යාලීය දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට, 6 ශ්‍රේණියට ඇතුළු වූ නවක සිසුනට සෙත් පැතීමට, විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට සෙත් පැතීමට, එසේම රට සුරකින ත්‍රිවිධ හමුදාවේ වීරෝදාර රණවිරුවන්ට ආශිර්වාද පැතීමට යන අරමුණු මුල් කරගෙන සැමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද පතා අද දින පෙ.ව. 8.00 – 9.00 දක්වා විශේෂ ආශිර්වාද බෝධි පූජාවක් පවත්වන ලදි.

ගල්වැව පුරාණ විහාරයේ විහාරාධීකාරී මැදගොඩ විජිත ස්වාමීන් වහන්සේ විසින් පැවැත් වූ එම ආශිර්වාද පූජාවට තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ බුද්ධ ධර්මය විෂය භාර අධ්‍යාපන අධ්‍යක්ෂ සෝමසිරි මැතිතුමා, විද්‍යාලයේ විදුහල්පති තුමා, ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මින් ඇතුළු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලු දෙනා සහභාගී වූ අතර විද්‍යාලයේ ‍‍බෞද්ධ සංගමය විසින් මෙම පූජෝත්සවය සංවිධානය කරන ලදි.

Wednesday, January 7, 2009

2009 වර්ෂයේ 6 වන ශ්‍රේණිය සඳහා නව සිසුන් අද දින පාසල් වලට ඇතුළත් කර ගැනේ.


2009 වර්ෂයේ 6 වන ශ්‍රේණිය සඳහා නව සිසුන් අද දින පාසල් වලට ඇතුළත් කර ගැනීමට නියමිතව ඇත.
එ බැවින් අප පාසලේ ද 6වන ශ්‍රේණිය සඳහා නව සිසුන් ඇතුළත් කර ගැනීමේ වැඩසටහන අද දින ක්‍රියාත්මක වේ. ඒ අනුව පළමුව ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව උදෑසන 9.00ට පමණ අප පාසලේ විදුහල්පති ඊ.ඒ.ගාමිණි ශාන්ත කුමාර මහතා නව සිසුන් හා දෙමව්පියන් අමතා පාසලේ නීති රීතීන් පිළිබඳව සහ පාසල ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳවත් ඔවුන් දැනුවත් කරමින් වි‍ෙශ්ෂ කතාවක් පවත්වන ලදි.අනතුරුව ඔවුන් අප පාසලට ඇතුළත් කරගනු ලැබූ අතර මෙවර 6 ශ්‍රේණිය සඳහා නව සිසුන් හතළිස් දෙනෙකු පමණ දැනට ඇතුළත් වී ඇත.

Sunday, January 4, 2009

2009 නව පාසල් වාරය අදින් ආරම්භ වේ.

අද දින නිහිළුව මහා විද්‍යාලහ‍ෙය් 2009 නව පාසල් වාරය ආරම්භ විය. පළමුවෙන් ම අද දින උදය රැස්වීමේ දී කිළිනොච්චිය මුදවාගත් රණ විරුවන්ට උපහාර දැක්වීම සඳහා මිනිත්තු දෙකක පමණ නිෂ්ශබ්දතාවයක් පාසලේ සියළු ම ගුරුභවතුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පවත්වන ලදි. අද දින පාසලේ පිරිසිදු කිරීම් කටයුතු සිදු කරනු ලබන අතර හෙට දින සිට පාසලේ අධ්‍යාපනික කටයුතු නියමිත පරිදි සිදු කරනු ලබන බව විදුහල්පති තුමා දැනුම් දේ.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...